Friday, September 30, 2016

08 - යකුන් බැද ගෙන වැඩ ගැනීම හා සමාන ණයපත් (Credit Card) භාවිතය හා කොහොමද මෙම Card හදන්නේ්?

ණයපතක් හෝ කිහිපයක් තිබෙනවා කියන්නේ එක් අතකින් අර ඉස්සර මිනිස්සු කියුව යකුන් බැද ගෙන වැඩ ගැනීම හා සමාන වැඩක් තමයි. කිසිම අකමැත්තක් නැතුව මෙම Card නිකුත්කරණ බැංකුත් විශාල ණය සීමාවක් දෙන නිසා ඉතාම කල්පනාවෙන් තමයි මෙම ණයපත් භාවිතා කළ යුත්තේ. මක්නිසාද යත් හිතුමතේ ගන්න පුළුවන් හැමදේම මෙම ණයපත් භාවිතා කරල ගන්න ගියොත් ඉතින් දවසකින් වුනත් වි‍ශාල මුදලක් ණය ලෙස ගෙවන්න තියෙන ණයකාරයෙක් වෙන්න පුළුවන්.  හොද කළමණාකරණයකින් මෙය භාවිතා කළොත් තමන්ට අවශ්‍ය දෙයක් තමන් අතේ මුදල් නොමැතිවුනත් අත් කරගෙන දරාගත හැකි ආකාරයක මුදලක් නම් උපයන මුදලින් අඩු කාලයකදී ගෙවල ණයෙන් නිදහස් වෙන්න පුළුවන්. නැත්නම් අර පෙර කියුව දේ තමයි වෙන්නේ. ඒක තමයි කියුවේ එක් අතකින් යකුන් බැද ගෙන වැඩ ගැනීම හා සමානයයි කියල, මොකද යක්කු බන්ධනයකින් බැදගෙන තමන්ට කරන්නට නොහැකි ගොඩක් දේ කර ගන්න පුළුවන්. හැබැයි වැරදීමකින් හරි බන්ධනය කැඩිල ගියොත් යකා බන්ධනය කරපු කෙනාම තමයි ගොදුරු කරගන්නේ.

කොහොමවුනත් ලෝකයම මේ ණයපත් භාවිතයට දැන් ඇබ්බැහිවෙලා, හුරුවෙලා, තවත් විදියකින් කියනවා නම් නැතුවම බැරි දෙයක් බවට පත්වෙලා ඉවරයි. එක අතකින් තමන් අතේ තව අමතර මුදලක් අදෘෂ්‍යමානව තිබෙනවා වගේම ගණුදෙනු වලදී මුදල් ගෙනයන්නේ නැතුව ඒ කර්තව්‍ය කරගැනීමට හැකිවීමත් වාසියක්. ඒවගේම තමන් අත ප්‍රමාණවත් මුදල් නොමැති එහෙත් වටිනාකමෙන් වැඩි භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගැනීමට මෙන්ම අවශ්‍ය නම් මුදල් අත්තිකාරකමක් යම් සැලකිය යුතු පොලියකට ලබාගැනීමට හැකිවීමත් වාසියක් තමයි. 

හැබැයි ඇත්තටම කියුවොත් මීට දශක කිහපයකට පෙර අපි ගමේ කඩේ මුදලාලිගෙන් ණයපොතේ ලියල බඩු ගත්ත එකත් මේ වගේම දෙයක් තමයි. ණයපතේ සහන කාලය වගේ තමයි මාසේ අන්තිමේ පඩියට ණය ගෙවල දාන එක. හැබැයි ඉතින් ඔක්කොම ණය ගෙවන්න බැරි වුනොත් ඊලඟ මාසෙට ඒ ණය යනකොට ඒ කාරණා මුදලාලිත් එක්ක ගොඩින් බේරාගන්න එක ණයගැතියාගේ දක්‍ෂකම මත තමයි තීරණය වෙන්නේ. සමහර වේලාවට මුදල් ලැබෙන්නේ පසුව නිසා මුහුණතේ වටිනාකමට වඩා වැඩි වටිනාකමක් අපිට ණයට ගන්න කොට මුදලාලිට ගෙවන්න වෙන්න පුළුවන්. ඒකම තමයි එක් අතකින් මේ ණයපත්  වලත් දවස් 51 හෝ 55 සහන කාලයට පසුව පොලිය ලෙස ගෙවන්න වෙන්නේ.ණය නියමිත දවසට ගෙවල ඉවරයක් කරගන්න බැරි වුනොත් මුදලාලිගේ රැවුම් ගෙරවුම් තාඩන පීඩන වලට ලක්වෙන්න සිදුවුනත් ණයපත් ලබාදුන් බැංකුව නම් බැරිවෙලාවත් අවම ණය මුදල ගෙවන්න නියමිත දවසට බැරිවුනොත් බොහොම කාරුණිකව දුරකථනයෙන් අපව දැනුවත් කරනවා. හැබැයි ඉතින් ණය ගෙවාගන්නම බැරිවුනොත් නඩුමගට යන්නත් එම ආයතන පසුබට වෙන්නේ නැහැ. අර අපි ඉස්සර මුදලාලි සහ අපි අතර වෙච්ච ගණුදෙනුව මැද්දට බැංකුවත් ඇවිල්ල අපි දෙගොල්ල අතර අන්තර්සබදතාවයක් අපි සහ මුදලාලි අතර ගට්ඨනයකින් තොරව ඇතිකරලීම තමයි කරල තියෙන්නේ. ඉතින් තව දෙයක් තමයි ඉස්සර කඩේකින් ණය දෙනවානම් ඒ මුදලාලි අදුරන කෙනෙක් වෙන්න ඕන නැත්නම් කාගේ හරි රෙකමදාරුවක් ඒ මුදලාලිට දෙන්න ඕන අපි ගැන. ඒත් මේ කාඩ්පත ඒ දෙයම වඩාත් වැඩි ගණුදෙනුකරුවන් සහ මුදලාලිලා අතර ඇතිකරලීම කරදීලා තියෙනවා.

කොහොමවුනත් අන්තිමට මේක තමයි වෙලා තියෙන්නේ. එදා මුදලාලිගෙන් ණයට ගන්නකොට ඉතින් මොනවවුනත් තමන්ගේ තත්ත්වය යට ගියත් මේ කාඩ්පත් නිසා ලක්‍ෂ ගණනක ණයකාරයෙක් වුනත් සූට්බූට් ගහලා නම්බුපිට ණයකාරයෙක් කරන එක කරලා තියෙනවා. කොටින්ම මමත් මේ ණයපත් කිහිපයකම “සාඩම්බර“  හිමිකරුවෙක් තමයි.

මේ කාරණා බොහොමයක් අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඔබත් මේ වනවිට මේවා අනිවාර්යෙන්ම දන්නවා ඇති. මම මේ ප්‍රවේශය ගත්තේ මොකටවත් නෙමෙයි. අපි කවුරුත් මේ ණයපත් භාවිතා කරන්න දන්නවා වුනාට හදනවා දැකලා නැහැනේ. අන්න ඒ දෙය දැන් බලමු..


අද මීට කලින් පළ කළ ලිපිය - ඇමරිකාවේ සහල් නිෂ්පාදනය

3 comments:

  1. මම නම් තාම ණයපත් අරගෙනත් නැ, ගන්න අදහසකුත් නැ.. හිහී..

    ReplyDelete
    Replies
    1. අම්මෝ........කීප වතාවක් මටත් දෙන්න හැදුවා. මම එපා කිව්වා.

      Delete
    2. අවශ්‍ය නැත්නම් නොගෙනම ඉන්න...

      Delete